poster

If you have a complaint, please scan the QR code below or Click Here to access the Online Complaint Portal and submit your complaint.

ඔබට පැමිණිල්ලක් තිබේ නම්, පහත QR කේතය ස්කෑන් කරන්න හෝ මෙතැන ක්ලික් කර Online Complaint Portal වෙත පිවිස ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න.

உங்களுக்கு ஏதேனும் புகார் இருந்தால், கீழே உள்ள QR குறியீட்டை ஸ்கேன் செய்யவும் அல்லது இங்கே கிளிக் செய்து Online Complaint Portal-க்கு சென்று உங்கள் புகாரை சமர்ப்பிக்கவும்.

iau qr ZQEUK

 අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටු වීම

රාජ්‍ය නිලධාරින්ගේ සුපිළිපන්න භාවය තහවුරු කරමින් අල්ලසෙන් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමේ අත්‍යවශ්‍ය වැදගත්කම කෙරෙහි රජයේ ප්‍රමුඛතම අවධානය යොමුව ඇත. රාජ්‍ය අංශය තුළ ශක්තිමත් දූෂණ විරෝධි ක්‍රියාමාර්ග හඳුන්වා දීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වැනි වගන්තිය යටතේ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCAC) ඇතුළු අනෙකුත් දූෂණ විරෝධී ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇති බැඳීම් වලට අනුකූල වන අතරම, 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත, නුදුරේදී එළි දැක්වීමට නියමිත අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) සහ රජයේ අනෙකුත් ප්‍රතිපත්ති අරමුණු සමඟ අනුගත වේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ දූෂණය මැඩලීමේ ක්‍රියාවලියේ ප්‍රධාන මුල පිරීමක් ලෙස රාජ්‍ය අංශය පුරා විනිවිද භාවය, වගවීම සහ සුපිළිපන්න භාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර, රජයේ සේවාවන් සියලුම පුරවැසියන්ට ඵලදායි ලෙස සැපයීම සඳහා සියලුම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Unit -IAU) පිහිටුවීමට තීරණය කර ඇත.

මෙම චක්‍රලේඛය මඟින් රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම, එහි අරමුණු, ක්‍රියාත්මක කිරීමේ ක්‍රම වේදය සහ අධීක්ෂණය සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් වන උපදෙස් සහ මාර්ගෝපදේශ ලබා දෙනු ඇත.

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු

  1. ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
  2. ආයතනයේ සියලුම ක්‍රියාකාරකම් වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
  3. ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
  4. විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
  5. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.

 අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්

ආයතනික සුපිළිපන්නභාවයේ ප්‍රධාන අංග ඉලක්ක කර ගනිමින් ක්‍රියාශීලී, පැහැදිලි සහ කේන්ද්‍රගත දූෂණ විරෝධී ප්‍රයත්නයන් තහවුරු කිරීම සඳහා පහත සඳහන් නිශ්චිත වගකීම් සහ කාර්යයන් අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත පැවරී ඇත.

  1. ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනා ගැනීම සඳහා වත්මන් ක්‍රියා පටිපාටි සහ චක්‍ර ලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
  2. දුෂණ අවදානම ඇසීම් (Corruption Risk Assessment) සිදු කිරීම මඟින් ආයතනය තුළ දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම් වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
  3. ආයතනයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කරන ලද නිශ්චිත දුෂණ විරෝධී අරමුණු සහ උපාය මාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
  4. ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ග වලට අනුකූල වීම.
  5. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දුෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකුලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම.
  6. සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවා නියුක්තිකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතා වලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකුලව බැඳියාවන් අතර ගැටුම් කළමනා කරණය කිරීම.
  7. ආයතනය තුළ දුෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමනා කරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් වීමසීම් සිදු කරන අදාළ පාර්ශ්වකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්‍ය පරිදි, දුෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු, සොයා ගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
  8. ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්‍රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.
  9. රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළුව, සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
  10. දූෂණ විරෝධී මූලධර්ම වලට කැපවී සිටීමට අභිප්‍රේරණයක් ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.
  11. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්‍රියා වලින් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බව සහතික කරමින්, ජාතික දූෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම (National Anti-Corruption Integrity Assessment) සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම.
  12. ඒකකයේ රාජකාරී ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මගපෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
  13. අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම්වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියා මාර්ග සඳහා නිර්දේශ සාරාංශගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
  14. පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.

 

News & Events

23
Sep2026
Media Release  GovTech Sri Lanka (Private) Limited

Media Release GovTech Sri Lanka (Private) Limited

Media Release GovTech Sri Lanka (Private) Limited...

22
Jun2026
Vesak Lantern Competition – 2026

Vesak Lantern Competition – 2026

Vesak Lantern Competition – 2026  To commemorate...

Scroll To Top